4 X 4 / OFFROAD : JetSki පදින්න ආසද?


මීගමු කළපුවෙ, බෙන්තොට, හික්කඩුවෙ විතරක් නෙමෙයි නුවර එළියෙ ග්‍රෙගරි වැවෙත් දැන් ජෙට්-ස්කී කියල හඳුන්වන, වතුරේ යන මෝටර් සයිකලයක් වගේ පෙනෙන බෝට්ටු වර්ගයක් දැකලා ඇති. සමහර අය පැදලත් ඇති. ඉතා වේගයෙන් වතුරේ එහා මෙහා යන ජෙට්-ස්කී පැදීම බොහොම විනෝද ජනකයි. මිලෙන් ඉතාමත් වැඩි නිසා ලංකාවෙ අපිට ජෙට් ස්කී එකක් මිළදීගන්නවා කියන එකනම් හිතන්න අමාරුයි. ඒත් ජෙට් ස්කී පැදලා විනෝද වෙලා තියෙන අය වගේම දැකලා තියෙන පැදලා නැති අයටත් ජෙට් ස්කී ගැන දැන ගන්න මේ ලිපිය ලියනවා.

JetSki කියන්නේ ඇත්තටම කවසාකි සමාගමට අයිති සන්නාමයක්. මේවාට කියන නියම නම "Personal Watercraft". ජෙට්ස්කී කියන්නේ ලෝකේ වැඩියෙන්ම ජනප්‍රිය Personal Watercraft නිෂ්පාදනය කරන කවසාකි සමාගමේ සන්නාමය. 

ජෙට්ස්කී නැතිනම් පර්සනල් වෝටර්ක්‍රාෆ්ට් මාදිලියේ ජලක්‍රීඩා යාත්‍රාවක් ඉස්සෙල්ලම නිර්මාණය කලේ කැනඩාවේ බොම්බාඩියර් සමාගමට අයත් සී-ඩූ (SEA-DOO) සමාගම විසින්. ඒ 1968දී. එත් සී-ඩූ සමාගමට ඒකාලේ මේ අලුත් ජලක්‍රීඩා සංකල්පය ජනප්‍රිය කරගන්න බැරිවෙලා තියෙනවා. 

මේ ආකරයේ ජලක්‍රීඩා යාත්‍රා ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ 1970 ගණන්වල ජපානයේ හොඳම මෝටර්සයිකල් නිෂ්පාදකයෙක් වෙන කවසාකි සමාගම JET SKI සන්නාමය යටතේ ඉහල ප්‍රමිතියේ පර්සනල් වෝටර්ක්‍රාෆ්ට් යාත්‍රා හඳුන්වාදුන්නට පස්සේ. කවසාකි පර්සනල් වෝටර්ක්‍රාෆ්ට් කොච්චර ජනප්‍රිය වුනාද කියනවානම් එයාලගෙ ජෙට්-ස්කී සන්නාමය සියලුම පර්සනල් වෝටර්ක්‍රාෆ්ට් යාත්‍රා හඳුන්වන සාමාන්‍ය නම බවට පත්වෙලා.

ජෙට්-ස්කී එකක් වැඩ කරන්නේ කොහොමද?


ජෙට්-ස්කී එකක සාමාන්‍ය බෝට්ටුවක වගේ අවරපෙත්තක් (නියම නම impeller - හෙවත් පාජකය) පිටතින් දකින්නට ලැබෙන්නේ නෑ. ඒ පදින්නාගේ හා අවට ජලයේ සිටින්නන්ගේ ආරක්ෂාව සඳහා. බෝට්ටුවකට වඩා ඉතා අධික වේගයෙන් යන ජෙට්-ස්කී එකක අවරපෙත්ත එලියෙන් තිබුණොත් අණතුරකදී එහි ගැටෙන පුද්ගලෙයෙකුට බරපතල තුවාල වෙන්න පුලුවන්. 

මේ නිසා ජෙට්-ස්කී එකක ඉම්පෙලර් එක තියෙන්නේ යාත්‍රාවේ බඳ ඇතුලේ. යාත්‍රාවේ යට ඇති විවරයකින් යාත්‍රාවේ කුටීරයකට ජලය ඇදලා අරගෙන, ඉම්පෙලරය මගින් වේගයෙන් පිටකිරීමෙන් ලැබෙන තල්ලුවෙන් තමයි ජෙට්-ස්කී එකක් ඉදිරියට යන්නේ. මේ සඳහා අධිබල ෆෝ-ස්ට්‍රෝක් (4-stroke) මැරයින් එන්ජින් යොදා ගැනෙනවා. 

උදාහරණයක් ලෙස යමහා සමාගම මගින් ඉදිරිපත් කරන WaveRunner EX අඩුම බලයේ ජෙට්-ස්කී යාත්‍රාවක් වන අතර එහි එන්ජිම 1049CC ධාරිතාවයේ, සිලින්ඩර් 3, සිවු පහර එන්ජිමක් වනවා. සාපේක්ෂව බලන විට සිවු දෙනෙකුට යාහැකි මරුටි අල්ටෝ 800 රථයේ එන්ජින් ධාරිතාවය 796CC පමණයි. සමහර බලසම්පන්න ජෙට්-ස්කී මාදිලිවල එන්ජින් ධාරිතාවය 2000CC තරම් වනවා.

JetSki Safety Key / Safety Lanyard
ඉම්පෙලරයේ ක්‍රියාකාරිත්වයෙන් එලියට විදින ජලය ඉවත්වන්නේ ෆෙලෙක්සිබල් හෝස් බටයකින් තැනූ නැසින්නක් (flexible nozzle) හරහායි. මෙම නැසින්න වමට හා දකුණට හැරවිය හැකි අතර එමගින් යාත්‍රාවේ හැඬල් බාර් එක හැරවීමේදී, නැසින්න හැරෙමින් යාත්‍රාව හරවනවා.

ජෙට්-ස්කී යාත්‍රාවල ඇති එක් වැදගත් ආරක්ෂණ උපක්‍රමයක් වන්නේ අතෙහි බඳින පටියකට සම්බන්ධකල safety key එකක් ඇතුලුකල විට පමණක් එය පණ ගැන්වීමට හැකිවීමයි. හදිසියේ එම safety key එක ගැලවී ගියහොත්, එනම් යාත්‍රාව පදින්නාට සිය සමබර තාවය නැතිවී වැටුනහොත් වහාම එන්ජිම ක්‍රියාවිරහිත වී ජෙට්ස්කී එක නවතිනවා.



පදින්නාට ඇති ආරක්ෂාව

ඉතා විනෝදජනක වුවද, පදින්නන්ට අඩුම ආරක්ෂාවක් ඇති, වැඩිම අණතුරු සංඛයාවක් සිදුවන ජලක්‍රීඩා යාත්‍රාවර්ගය ජෙට්-ස්කී බවට හඳුනාගෙන තිබෙනවා. බෝට්ටු අණතුරු වලදී ජීවිත හානි වන්නේ දියේ ගිලීමෙන් වන අතර නියම ප්‍රමිතියේ, හොඳින් සිරුරට සවිවන flotation jacket / life jacket පැළඳීමෙන් මෙම අණතුර අවම කරගත හැකියි. 

ජෙට්-ස්කී වලින් වන අණතුරු බොහොමයක් දියේ ගිලීම් නොව, ගැටීම් නිසා වන අණතුරුයි. අධික වේගය, නොසැළකිලිමත් ධාවනය, පැදීම නුපුරුදු අය වේගයෙන් පැදීමට යාම නිසා පාලණයෙන් ගිලිහීම ආදිය නිසා බොහෝ ජෙට්-ස්කී අණතුරු සිදුවනවා.

එමනිසා ඔබ, ඔබගේ දරුවන් ජෙට්-ස්කී පැදිමට යවනවානම්, සැළකිලිමත් ලෙස එය ගෙනයා හැකි පළපුරුදු පුද්ගලයින් ඇති ස්ථානයක් තෝරා ගැනීම අනිවාර්යයි. ලංකාවේ කුලියට ජෙට්-ස්කි සවාරි ගෙනයන ස්ථනවල රැකියාව කරන ලාබාළ තරුණයින් ඉතා අපරික්ෂාකාරී ලෙස එම සවාරි ගෙනයාම සිදුකරන බව ලේඛකයා දැක තිබෙනවා. 

සමහර ජෙට්-ස්කී සවාරි ගෙනයන්නන් ලයිෆ් ජැකට්ටු පවා ලබාදෙන්නේ නෑ. නැතහොත් ලබාදෙන ලයිෆ් ජැකට්ටු ඇඟට සවිනොවන, නිසිපරිදි ක්ලිප් සවිවන ඒවා නොවෙනවා.  එමෙන්ම ඔවුන් හරියට පිහිණීමට පවා නොහැකි, ජෙට්-ස්කී හෝ වෙනත් ජල යාත්‍රා පැද නුපුරුදු, නුහුරු පුද්ගලයින් පිණවීම සඳහා අධිකවේගයෙන් ගෙනයනවා. විනෝදයට ජෙට්-ස්කී සවාරි යාමේදී මෙවැනි ස්ථාන මගහැරීම ඔබගේ හා දරුපවුලේ ආරක්ෂාවට වැදගත් බව සළකන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments