AGRICULTURE TECHNOLOGY : චීනය හා ඔස්ට්‍රේලියාව රුධිරයේ සීනි අඩුකරන සහල් ගැන හොයයි






















චීනය ලෝකයේ වැඩිම දියවැඩියා රෝගීන් ගණනක් සිටින රටයි. 2015දී මිලියන 109ක් චීන ජනයා දියවැඩියා රෝගීන් වූ අතර 2040 වනවිට මෙය මිලියන 150 දක්වා වර්ධනය වනු ඇතැයි චීන සෞඛ්‍ය බළධාරීන් බිය පලකරනවා. චීනයේ දියවැඩියා වසංගතයට ප්‍රධාන හේතුකාරකයක් ලෙස, මදින ලද සුදු සහල් (polished white rice) හඳුනාගෙන තිබෙනවා. 

සුදු සහල් අනුභවකල විට රුධිරයේ සීනි ප්‍රමාණය බෙහෙවින් ඉහල යන බව සොයාගෙන තිබෙනවා. පිලිපීනයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය (International Rice Research Institute) ලෝකයේ ඇති සහල්වර්ග වල ග්ලයිසීමික් අගය (Glycemic Index) 48 සිට 98 දක්වා වන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.

සුදු සහල් වෙනුවට රතු සහල් භාවිතා කරනවිට ග්ලයිසීමික් අගය අඩුවන නමුත් රතු සහල් රසයෙන් අඩු බැවින් ඒවා භාවිතා කිරීමට චීන ජාතිකයින් අකමැතියි. ඒ නිසා චීන පර්යේෂකයින් සිය පර්යේෂණ වල ඉලක්කයක් ලෙස රසින් වැඩි රතු සහල් වර්ග ගැන සොයා බැලීම හා දෙමුහුන් කිරීම මගින් එවැනි සහල් වර්ග බිහිකිරීමට උත්සහ කරනවා.

ඒවගේම සුදු සහල්වල පෝෂණ ගුණයත් ඉතා අඩුයි. රතු හා දුඹුරු සහල් (brown rice) වල විටමින් හා ඛණිජ ළවණ වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ අතර මයික්‍රෝසොෆ්ට් නිර්මාතෲ බිල් ගේට්ස්ගේ ධන පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක වන "Bill & Melinda Gates Foundation" පදනම මගින් විටමින් A වලින් සපිරි සහල් වර්ගයක් නිර්මාණය කිරීමේ පර්යේෂණ බංග්ලාදේශයේ සිදුකරනවා. බංග්ලාදේශයේ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් විටමින් A ඌණතාවයෙන් පෙලීම මීට හේතුවයි. විටමින් A ඌණ තාවයෙන් අන්ධ භාවටය පත්වීමේ අවදානම වැඩියි.

ඔස්ට්‍රේලියාවේ Commonwealth Scientific and Industrial Research Organisation ස්වභාවික තන්තුවලින් (natural fibre) පෝෂිත සහල් වර්ගයක් නිර්මාණය කිරීමේ පර්යේෂණ පවත්වනවා. තන්තු වැඩි සහල් ජීර්ණ පද්ධතියට හිතකර වන අතර  බත් ජීර්ණයේදී වේගයෙන් රුධිරයට ග්ලූකෝස් අවශෝෂණය කිරීම බාල කරනවා. මේ අනුව සිරුරේ ඉන්සුලින් ක්‍රියාවලියට සහය වන අතර ඉන්සුලින් වලට ප්‍රත්‍රික්‍රියා නොකිරීමේ දෙවන ප්‍රබේධයේ දියවැඩියාව (type 2 diabetes) මෙමගින් අඩුකරනවා. 







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments