ARTIFICIAL INTELLIGENCE : රොබෝ උතුමාණෝ විනිසුරු අසුනට සපැමිණේ!!!


කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දැනටමත් අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලට බලපෑම් කරනවා. ඔබගේ ණය අයදුම්පතට ණයක් දියුතුද නැද්ද යන්න තීරණය කරන්නට බැංකුවල කෘත්‍රිම බුද්ධි වැඩසටහන් උපයෝගී කරගන්නවා. ඔබගේ ෆේස්බුක් ටයිම්-ලයිනයේ පෙන්විය යුත්තේ මොන පෝස්ටුද යන්න තීරණය කරන්නේත් ෆේස්බුක් කෘත්‍රිම බුද්ධිය මගින්. ඔබගේ පසුගිය ගූගල් සෙවුම් හා ප්‍රොෆයිලය අනුව ඔබ සෙවුම් විධානයක් දුන් විට ඔබට වඩාත් ගැලපෙන සෙවුම් ප්‍රතිපල පෙන්වන්නේත් ගූගල් කෘත්‍රිම බුද්ධි වැඩසටහනකින්. 

නුදුරු අනාගතයේම ඔබගේ වාහන හා ජීවිත රක්ෂණ වාරික, තීන්දු කිරීමට, ඔබගේ රෝග ලක්ෂණ හඳුනාගෙන රෝග විනිෂ්චය කරන්නටත් කෘත්‍රිම බුද්ධිය උදව්වෙනු ඇත දැනටමත් ඇපල් ඔරලෝසුවේ හෙල්ත්-ඇප් එකට ඔබගේ හදගැස්ම හා රුධිරපීඩන දත්ත ඇසුරින් ඔබට ආඝාතය (stroke) සෑදීමේ ප්‍රවනතාවය 97% තරම් නිවැරදිව කියන්නට පුලුවන්ලු. ඇපල් හෙල්ත් ඇප් එක පිටුපස තිබෙන්නේත් සංකීර්ණ කෘත්‍රිම බුද්ධි වැඩසටහනක්.

මේ සියල්ලම කෘත්‍රිම බුද්ධියට භාරදිය හැකි වුවත්.........  

ඔබ වැරදිකරුද? නිවැරදිකරුද? යන්න තීරණය කොට ඔබ සිරගත කරනවාද නැද්ද? ඔබ පෝරකයට යායුතුද නැද්ද යන්න තීරණය කරන්නට යන්ත්‍රයකට හෝ මෘදුකාංගයකට භාරදිය හැකිද?

දින කිහිපයකට පෙර ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් මහතා සහභාගීවූ එක් උත්සවයකදී මාධ්‍යවෙදියෙක් ඔහුගෙන් පැනයක් විමසූවා.

"අගවිනිසුරුතුමනි, ඔබ සිතනවාද අනාගතයේ කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර, විනිසුරුවරුන්ට තීන්දු ගන්නට සහයවෙයි කියලා? ඒවගේම ඔබ සිතනවද අනාගතයේ උසාවි තීන්දු ගැනීම කෘත්‍රිම බුද්ධි රොබෝවරුන්ට පැවරෙයි කියලා..?"

ඇමරිකන් අගවිනිසුරු පිලිතුරු දුන්නේ මෙහෙමයි...

"ඔබ ඔය කියන අනාගතය දැන්ම උදාවෙලා...... කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර උසාවි තීන්දුවලට සහයදීම දැනටමත් ඇරඹිලා..... මේ අලුත් නැඹුරුව අධිකරණ ක්ෂේස්ත්‍රයේ ආතතියක් ඇතිකරන්න සමත්වෙලා තියෙනවා......"

ඇමරිකන් අගවිනිසුරු කතාකලේ කුමක් ගැනද?

මොනවද ඇමරිකන් අධිකරණ තීන්දුවලට සහයදෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහන්?


මොකක්ද ඔහු කියූ අධිකරණයේ 
කෘත්‍රිම බුද්ධි ආතතිය?


ඇමරිකන් අගවිනිසුරුගේ ප්‍රකාශයේ වැඩි විස්තර නොතිබුණත්, දැනටමත් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් දුන් නිගමන නිසා හිරේ ගිය පුද්ගලයෙක් සිටිනවා. ඔහු නමින් "එරික් ලූමිස්". ඔහුගේ නීතිඥයින් දැන් මේ තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරලා තියෙනවා ලූමිස් හිරේ යවපු කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයේ නිගමන නිවැරදිදැයි දැනගන්න එයින් හරස් ප්‍රශ්ණ අසන්නට තමන්ට අවස්ථාවක් නොලැබුනා යන පදනම මත.

එරික් ලූමිස් කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි. අපරාධ රැසකට පොලීසියට අවශ්‍යවී සිටි ඔහු සොරාගත් මෝටර් රථයකින් පලායමින් සිටියදී කොටුවී අධිකරණයට ඉදිරිපත් කල අයෙක්.

එරික් ලූමිස් අවුරුදු 6ක් හිරේ යවන්න අධිකරණය තීන්දුවක් දුන්නා. මේ තීන්දුව පිටුපස "Compas" නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනකින් දීපු නිගමන තිබෙනවා. කොම්පස් පෞදගලික සමාගමකින් නිර්මාණය කරපු, අපරාධකාරයින් පිලිබඳ සවිස්තර මනෝරේඛයක් (psychological profile) ගොඩනැගිය හැකි වැඩසටහනක්. ඒවගේම එයට අපරාධකරුවෙකුගේ පසුගිය හැසිරීම් අනුව අනාගත හැසිරීම් පිලිබඳව අනාවැකි දෙන්නත් පුලුවන්ලු.

කොහොම වුනත්, කොම්පස් කෘත්‍රිම බුද්ධි වැඩසටහන සිය තීන්දුවලට ආවේ කොහොමද කියලා දැනගන්න අවස්ථාවක් නොලැබුනා කියන පදනම මත දැන් ලූමිස්ගේ තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් වෙලා. කොම්පස් වැඩසටහන පෞද්ගලික සමාගමක නිර්මාණයක් නිසා එහි තීන්දුගැනීමේ තාක්ෂණය බුද්ධිමය දේපොල යටතේ ආරක්ෂාවනවා. ඒ අනුව එය තීන්දු දෙන්නේ කොහොමද කියලා දැනගැනීමේ හැකියාවක් නෑ.

අපරාධ පරීක්ෂණ වලට, කෘත්‍රිම බුද්ධි වැඩසටහන් උපයෝගීකරගැනීම වේගයෙන් වැඩිවෙමින් තියෙනවා. මෙයට හේතු විශාල ප්‍රමාණයක් තිබෙනවා. නඩු වාර්තාවල තාක්ෂණික දෝශ නිසා දරුණු අපරාධකරුවන් පවා නිදහස්වී, නැතහොත් උපරිම දඬුවම් නොලැබෙන අවස්ථා එමට තියෙනවා. අපරාධකරුවන් සිය හැසිරීම් රටා වෙනස් කරමින්, පොලීසිය නොමග යැවීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා. අධිතාක්ෂණය භාවිතාවෙන් සිදුකරන අපරාධවලදී එම තාක්ෂණයන් තේරුම් ගැනීමේ හැකියාව විනිසුරුවරුන්ට නෑ. ඒවගේම පොලිස් හා අරක්ෂක අංශවලට ඇති අධික වැඩකන්දරාව නිසා නඩු ප්‍රමාදවීම සිදුවනවා. 

මෙවැනි ගැටලුවලට පිලියමක් විධියට තමයි කෘත්‍රිම බුද්ධි සහයකයින් අපරාධ පර්යේෂණ හා අධිකරණ තීන්දුවලදී විනිසුරුවරුන්ට සහය ලබාදෙන්නට අමෙරිකාව, බ්‍රිතාන්‍යය හා වෙනත් යුරෝපීය රටවල් වල අධිකරණ අමාත්‍යාංශ පියවර අරගෙන තියෙන්නේ. ඒ මේ නිසා අධිකරණ තීන්දු පිලිබඳව විවිධාකාරයේ ගැටලු මතුවෙමින් තිබෙනවා. සමහර ගැටලු තාක්ෂණිකයි, සමහර ගැටලු මානව සදාචාරය පිලිබඳ ගැටලු.

ඇමරිකන් අගවිනිසුරු කියපු අධිකරණ ක්ෂේස්ත්‍රයට කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර නිසා ඇතිවෙමින් ඇති ආතතිය මෙය විය යුතුයි.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments