BUSINESS STRATEGY : පුටින්, රනිල් දෙන්නම ගිය මෝදි නොගිය චීනාගේ One Belt and One Road Initiative මොකක්ද කියලා දන්නවද?






















One Belt and One Road Initiative එහෙමත් නැතිනම්  The Silk Road Economic Belt and the 21st-century Maritime Silk Road එකම අරමුණු කිහිපයකින්, එකට බැඳුනු, චීනයේ නායකත්වයෙන් හා ප්‍රධාන ධන ආයෝජනයෙන් ගොඩ නැගෙන ව්‍යාපෘති දෙකක්. මෙම ව්‍යාපෘති දෙකෙහිම දේශපාලන නායකත්වය ගෙන තියෙන්නේ චීනයේ වර්තමාන ජනාධිපති සී ජින්පින්ග්.

චීනය හා යුරේසියානු, දකුණු හා අග්නිදිග ආසියානු රටවලුත්, බටහිර අප්‍රිකාවේ වෙරළබඩ රටවලුත් එකට යාකෙරෙන, ගොඩබිම් හා මුහුදු මාර්ග හා ඒ මාර්ගවලට අනුබද්ධ ආර්ථික කළාප ගොඩනැගීම තමයි මේ ව්‍යාපෘතියේ අරමුන. 

චීනය ප්‍රකාශ කරන විධියට, චීන විදෙස් ප්‍රතිපත්තිය වන ආයෝජය, වෙළඳාම හා යටිතල පහසුකම් ගොඩනැගීම තුලින් සහයෝගීතාවය වර්ධනය කරගැනීම, මෙම ව්‍යාපෘතියෙන්ද පිලිබිඹු වෙනවා. මේ යටිතල පහසුකම් ගොඩනැගීමේ ව්‍යාපෘති වලට චීනය වසරකට ඩොලර් බිලියන 150ක අතිවිශාල මුදලක් ආයෝජනය කරන්න සූදානම් වෙලා ඉන්නවා.

වන් රෝඩ් වන් බෙල්ට් ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කලයුතු ආර්ථික කලාප 5ක් හා මුහුදු මාර්ගයක් හඳුනාගෙන තිබෙනවා. මෙම කළාපවල සංවර්ධනය සඳහා, හා චීන ආයෝජන සඳහා එම රටවල් කැමතිකර ගැනීමේ මූලික සාකච්ඡා සඳහා තමයි ඊයේ හා අද (මැයි 14-15) චීනයේ බීජිං නුවර වන් රෝඩ්-වන් බෙල්ට් සමුලුවට ලෝක නායකයින්ට ආරාධනා ලැබුනේ.

වන් බෙල්ට් - වන් රෝඩ් කතාවේ තේරුම මොකක්ද?

වන් රෝඩ් වන් බෙල්ට් ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කලයුතු බවට යෝජනා කෙරෙන ගොඩබිම් ආර්ථික කලාප 6ක් හා දීර්ඝ මුහුදු මාර්ගයක් තිබෙනවා

ව්‍යාපෘතියේ "වන් බෙල්ට්" ලෙස හඳුන්වන්නේ ආර්ථික කලාප 6ක් එකාබද්ධව ගත් දළවශයෙන් පැරණි ගොඩබිම් සේද මාවතේ රටවල් අතරින් දිවෙන දැවැන්ත ගොඩබිම් මාර්ග පද්ධතිය හා ආර්ථික කළාප ජාලයයි. 

1. New Eurasian Land Bridge - බටහිර චීනයේ සිට බටහිර රුසියාව දක්වා දිවෙන මහාමාර්ග පද්ධතිය හා ආර්ථික කළාප සමූහය.

2. China - Mongolia - Russia Corridor - උතුරු චීනයේ සිට මොන්ගෝලියාව හරහා නැගෙනහිර රුසියාව තෙක් දිවෙන මහාමාර්ග පද්ධතිය හා ආර්ථික කළාප සමූහය.  

3. China - Central Asia - West Asia Corridor - බටහිර චීනයේ සිට බටහිර ආසියාව හරහා මධ්‍යම ආසියාවේ කෙළවර වන තුර්කිය තෙක් දිවෙන මහාමාර්ග පද්ධතිය හා ආර්ථික කළාප සමූහය. 

4. China - Indochina Peninsula Corridor - දකුණු චීනයේ සිට බුරුමය, තායිලන්තය හා මැලේසියාව හරහා සිංගප්පූරුව තෙක් දිවෙන  මහාමාර්ග පද්ධතිය හා ආර්ථික කළාප සමූහය. 

5. China - Pakistan Corridor - නිරිතදිග චීනයේ සිට පාකිස්ථානය තෙක් දිවෙන මහාමාර්ග පද්ධතිය හා ආර්ථික කළාප සමූහය. 

6. Bangladesh - China - India - Myanmar Corridor - දකුණු චීනයේ සිට බුරුමය හා බංග්ලාදේශය හරහා ඉන්දියාව තෙක් දිවෙන මහාමාර්ග පද්ධතිය හා ආර්ථික කළාප සමූහය. 

වන් රෝඩ් වන් බෙල්ට් ව්‍යාපෘතියේ "වන් රෝඩ්" ලෙස හඳින්වෙන්නේ "21st-century Maritime Silk Road" හෙවත් 21වැනි ශත්වර්ෂයේ මුහුදු සේද මාවත ලෙස හඳුන්වන, චීනයේ සිට මධ්‍යධරණී මුහුද තෙක් වැටී ඇති වරාය හා ආර්ථික කළාප ඇතුලත් මුහුදු මාර්ගයයි.

මේ මුහුදු සේද මාවත චීනයේ වාණිජ වරායන් වල සිට, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ලංකාව (හම්බන්තොට හා කොළඹ ) හරහා අප්‍රිකාවේ කෙන්යාව (මොම්බාසා) හා ජිබූටි ඔස්සේ සූවස් ඇල තරණය කරමින් මධ්‍යධරණී මුහුදේ යුරෝපීය වරායන් තෙක් දිවෙයි.

වන් රෝඩ් වන් බෙල්ට් මුළු ව්‍යාපෘතියම ගත්කල රටවල් 60ක් සම්බන්ධවන අති දැවැන්ත අන්තර්ජාතික වැඩසහටනක් වන මෙයට ලබාදී ඇති අවම ඇස්තමේන්තු වියදම වන්නේ ඩොලර් බිලියන 4000කි.

වන් රෝඩ් වන් බෙල්ට් - චීනයේ සැබෑ අරමුණු මොනවාද?

1. දැනට ඇමරිකාව හා යුරෝපයට සිදුකරන චීන අපනයන, ආයෝජන හා තාක්ෂණය සඳහා වෙනත් වෙළඳපොලවල් සොයාගැනීම.

2.  චීන කර්මාණ්තවලට අවශ්‍ය යකඩ, වෙනත් ලෝහ වර්ග,රසායණික ද්‍රව්‍ය බහුලව ඇති රුසියාව, නැගෙනහිර හා මධ්‍යම ආසියාතික රටවල් සමග වේගවත් ප්‍රවාහණ පද්ධතියක් බිහිකර ගැනීම හා එම සැපයුම් චීනයට ලැබීම සහතික කරගැනීම.

3. ආර්ථික වශයෙන් තවමත් දිළිඳු චීනයේ පලාත් මෙම ව්‍යාපෘතිය හරහා වෙනත් රටවල්වලට සම්බන්ධ කොට ආර්ථික කලාප හරහා ඒවායේ ආර්ථිකය දියුණු කොට දිළිඳුබව නැති කිරීම. මෙම දිළිඳු පලාත් ප්‍රධාන වශයෙන්ම Guizhou, Gansu, Yunnan  යන පලාත් තුන වන අතර මෙම තුනම චීනයේ බටහිර ආසියානු දේශසීමාවේ පවතී.

4. චීනය හා දැඩිලෙස බැඳී තිබෙන ණය, ආයෝජන හා වෙළඳාම මගින් කලාපයේ රටවල් චීන හිතවාදී රටවල් බවට පත්කරගෙන ලෝක බලවතෙකු ලෙස ඉස්මතුවීමේ චීන භූ-දේශපාලනික අභිලාශය මුදුන්පත් කරගැනීම.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments