BUSINESS STRATEGY : Renault-Nissan සුසංයෝගයට Mitsubishi එකතුවෙයි. ටොයෝටා හා වොක්ස්වැගන් අතර හුවමාරුවන කිරුළ ඩැහැගැනීමේ උපායමාර්ගයක්?


ප්‍රංශයේ රෙනෝල්ට් (ප්‍රංශ උච්චාරණය - රෙනෝ) සමාගම හා ජපානයේ නිසාන් සමාගම උපක්‍රමීය ව්‍යාපාරික හවුලක් (strategic business alliance) ඇතිකර ගත්තේ 2000 වසරේදී. ඒ වනවිට ටොයෝටා හා තරඟකල නොහැකිව නිසාන් සමාගම දැඩි ලෙස පසුබෑමකින් සිටි අවධියක්. ඒ වගේම රෙනෝල්ට් සමාගම යුරෝපයේ රටවල් කිහිපයක පමණක් අලෙවිවුනු, ආසියාවේ හෝ ඇමරිකාවේ ඒවනවිට දකින්නටවත් නොතිබුණු වාහන මාදිලියක්. මේකට විසඳුමක් විධියට නිසාන් හා රෙනෝල්ට් ඒකාබද්ධවෙලා එක් සභාපතිවරයෙක් යටතේ ඉදිරියට යායුතුයැයි තිරණය වුනා.

රෙනෝල්ට්-නිසාන්-මිට්සුබිෂි සමාගම් ත්‍රිත්වයේ සභාපති කාලෝස් ඝෝන් තායිලන්තයේ මිට්සුබිෂී කර්මාණ්තශාලාවක් පිරික්සමින්
මෙලෙස සභාපතිවරයා ලෙස තෝරාගත්තේ එකල රෙනෝල්ට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාවූ ප්‍රංශ ජාතික කාලෝස් ඝෝන්. බොහෝ ව්‍යාපාරික විචාරකයින් වගේම ආයෝජකයින් මේ ප්‍රංශ-ජපන් දීගය ඉක්මණින් අවසන්වන බවට අනාවැකි පලකලත් අද වනකොට රෙනෝල්ට් වගේම නිසාන් යලිත් ශක්තිමත් වෙලා. ආසියාවේ එතරම් විකුණුනු නැති රෙනෝල්ට් සමාගමේ අඩුමිල වාහන (උදා: Renault KWID) ඉන්දියාවේ පවා හොඳින් විකිණෙනවා. ඒවගේම නිසාන් යලිත් ඇමරිකාවේ හා යුරෝපයේ නමක් දිනාගෙන තියෙනවා.  2000 වසරේ මේ හවුල පටන්ගන්නකොට සමාගම් දෙකම එකතුවෙලා වාහන මිලියන 5ක් විතර අලෙවිකල අතර දැන් ඒකාබද්ධ අලෙවිය වාහන මිලියන 8.5ක් එනම් 70%කින් වර්ධනය කරගෙන.

ආසියාවට අඩුමිල වාහන සපයන්න නිසාන්, කලක් අතහැරලා දමා තිබුණු ඩැට්සන් සන්නාමය යලිත් කරලියට ගෙනල්ලා. ලංකාවේ මෑතකදී හඳුන්වාදුන් "ඩැට්සන් ගෝ" මාදිලිය මේ අලුත් වෑයමේ එක් පියවරක්.  ඒවගේම කාලෝස් ඝෝන් ගේ නායකත්වය යටතේ ලෝකයේ විශාල මෝටර් රථ වෙළඳපොල වෙන චීනයේ වැඩියෙන්ම අලෙවිවන ජපන් වාහන මාදිලිය නිසාන් බවට පත්කරගන්න සමත්වෙලා තියෙනවා.

මේ සාර්ථකත්වය තුලවුනත් ටොයෝටා සමාගම හා ජර්මනියේ වොක්ස්වාගන් සමාගම අතර දෝලනය වන ලෝකයේ වැඩිම වාහන ගණනක් අලෙවිකරන්නා යන කිරුළ තමන්වෙත ගන්න නම්, රෙනෝල්ට් නිසාන් සුසංයෝගයට බරපතල අඩුවක් තියෙන බව කාලෝස් දැනගෙන හිටියා. ඒ තමයි නිසාන් වගේම රෙනෝල්ට් සන්නාම දෙකෙන් එකක්වත් අග්නිදිග ආසියාවේ, විශේෂයෙන්ම තායිලන්තය, ඉන්දුනීසියාව වගේ විශාල වාහන වෙළඳපොලවල් වල ජනප්‍රිය නොවීම.

මේ අඩුව පුරවගන්න කාලෝස් දරපු වෑයමේ ප්‍රථිපලයක් තමයි අග්නිදිග ආසියාවේ තවමත් ජනප්‍රිය වාහන සන්නාමයක් වන (එහෙත් පාඩු ලබන ) මිට්සුබිෂි මෝටර්ස් සමාගම තම උපායමාර්ගික හවුලට එකතුකර ගැනීමට පුලුවන් වීම.  නිසාන් සමාගම, මිට්සුබිෂී මෝටර්ස් සමාගමේ කොටස් 34% මිළදීගැනීමෙන් ආරම්භවුනු මේ ව්‍යාපාරික ගිවිසුමට අනුව කාලෝස් ඝෝන්, මිට්සුබිෂී මෝටර්ස් සමාගමෙත් සභාපතිවරයා වනවා.



තායිලන්තයේ, ඉන්දුනීසියාවේ හා පිලිපීනයේ විශාල කර්මාණ්තශාලා තිබෙන, ඒරටවල ජනප්‍රිය මිට්සුබිෂී හරහා, අග්නිදිග ආසියාව ජය ගැනීම තමයි කාලෝස්ගේ අරමුණ. දැනට ඉන්දුනීසියාවේ, පිලිපීනයේ වගේම තායිලන්තයෙත් ජනප්‍රියම වාහන මාදිලි වෙන්නේ ටොයෝටා හා හොන්ඩා. නිසාන් තියෙන්නේ අන්තිමට. ඒත් මිට්සුබිෂී මාදිලියට මේ රටවල් වල සෑහෙන තැනක් තියෙනවා. ඒනිසා ඒ රටවල මිට්සුබිෂී සතු නිෂ්පාදන හැකියාව වර්ධනය කරලා වෙළඳපොල පංගුව වැඩිකරගන්න කාලෝස් බලාපොරොත්තු වෙනවා.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments