E COMMERCE : ඉන්දියානු E Commerce යෝධයන් දෙදෙනෙක් එකතුවේ... ලංකාවේ ඊ වෙළඳපොලත් ඉලක්කයක්?


ඉන්දියාවේ විශාලම ඊ වෙළඳාම් ජාලය වන්නේ ෆ්ලිප්කාර්ට් සමාගමයි. 2007දී සචින් බන්සාල් හා බිනී බන්සාල් යන මිතුරන් දෙදෙනා (එකම වාසගම ඇතත් මොවුන් නෑදෑයන් නොවේ) ආරම්භ කල ෆ්ලිප්කාර්ට් අද අතිවිශාල දියුනුවක් ලබා ඇත. සචින් හා බීනී දෙදෙනාම ඉන්දියාවේ සුප්‍රකට "Indian Institute of Technology - Delhi" තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව හැදෑරූ අතර දෙදෙනාම  උපාධි දිනාගැනීමෙන් පසු ඇමසන් සමාගමට සම්බ්න්ධවිය. තමන්ගේම ඊ වෙළඳාම් සමාගමක් අරඹන්නට දෙදෙනා තීරණය කලේ ඇමසන්හි සේවය කරන අතර තුරේදීය. අදවනවිට ෆ්ලිප්කාර්ට් සේවක සේවිකාවන් 33,000ක් සේවය කරන විශාල සමාගමක් වන අතර 2016 වසරේ ආදායම ඩොලර් බිලියන 2.3කි (ශ්‍රී ලංකා රුපියල් බිලියන 350ක් පමණ)

ඉන්දියාවේ තවත් විශාල ඊ වෙළඳාම් සමාගමක් වන්නේ ස්නැප් ඩීල් සමාගමයි. මුලින් විශේෂ මිළ අඩුකිරීම් (special low priced promotions) ප්‍රවර්ධනය සඳහා පමණක් කැපවුනු ස්නැප් ඩීල් දැන් සාමාන්‍ය ඊ වෙළඳාම් කටයුතුද සිදුකරයි. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය දිනාගත් කුනාල් භාල් හා දිල්ලි ඓඓඨ් විශ්වවිද්‍යාලයේ රෝහිත් බන්සාල් යන මිතුරන් දෙදෙනා ආරම්භකල ස්නැප් ඩීල් මේවන විට භාණ්ඩ මිලියන 30ක් පමණ විකිණීමට ඇති, ව්‍යාපාරික හවුල්කාර සමාගම් 250,000කගේ භාණ්ඩ සිය අඩවිය හරහා විකුණන ඩොලර් මිලියන 100ක පමණ ආදායම් උපදවන සමාගමකි.

ෆ්ලිප්කාර්ට් හා ස්නැප් ඩීල් සමාගම් දෙක එකතුකිරීමේ කපුකම සිදුකරන්නේ ජපානයේ සොෆ්ට්බෑන්ක් නම් ආයෝජන සමාගමයි. අධිතාක්ෂණික සමාගම් වල ආයෝජනයන් සිදුකරන සොෆ්ට්බෑන්ක් සමාගම ජපානයේ තුන්වැනි විශාලතම සමාගම වන අතර ටොයෝටා හා මිට්සුබිෂී සමාගම් ඊට ඉදිරියෙන් සිටිනා සමාගම්ය.

ඉදිරි දශකය තුල ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන හා ලාභදායිම ඊ වෙළඳාම් කළාපය වන බවට අනාවැකි පලවී ඇති අතර දැනටමත් ඇමසන් සමාගම ඉන්දියාවේ අංක එක වීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදුකරමින් සිටී. මෑතකදී චීනයේ අලිබාබා ඊ වාණිජ සමාගම (ජැක් මා ගේ සමාගම) ඉන්දියාවේ ආයෝජනයක් සිදුකරමින් ඉන්දියානු ඊ වෙළඳාම් තරඟයට අවතීර්ණවිය.

ඇමසන් හා අලිබාබා සතු අතිවිශාල ආයෝජන හැකියාවන්ට මුහුණදීමට නම් ෆ්ලිප්කාර්ට් සමාගම හා ස්නැප් ඩීල් සමාගම ඒකාබද්ධ කල යුතු බවට තිරණය කල සොෆ්ට්බෑන්ක් සමාගම ඒ සඳහා පිඹුරුපත් සකස් කල අතර දැන් එය සාර්ථකවී ලබන සතිය වනවිට සමාගම් ඒකාබද්ධ කිරීමේ ආරම්භ වනු ඇතැයි විශ්වාස කරනවා.

ලංකාවේ ඊ වෙළඳාම ඉන්දියාවට සාපේක්ෂව බොහෝ කුඩා වුවත්, අතිවිශාල මෙහෙයුම් හැකියාව නිසා ලංකාවේ ඊ වාණිජ සමාගම් වලට වඩා බොහෝ අඩුවට බඩු විකිණීමට ෆ්ලිප්කාර්ට්-ස්නැප් ඩීල් සමාගමට හැකිවන අතර ලංකාව මෙන් 60 ගුණයක් විශාල් ඉන්දියාව පුරා බඩු බෙදාහරින මේ සමාගම් වලට ලංකාව තුල බෙදාහැරීම් ජාලයක් ආරම්භ කිරීම ඉතා පහසුය. ඒ අනුව මේ සමාගම් ලංකා ඊ වෙළඳාමට පිවිසිය හොත් ලංකාවේ ඊ වෙළඳාම් සමාගම් වලට කණකොකා හඬලනු ඇත.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments