NUTRITION : පැකට් කරපු ආහාර මේතරම් හොඳ නෑ කියලා දැනගෙන හිටියද?


ළමා රෝග විශේෂඥයෙකු හා ස්ථුලතාවය පිලිපඳ විශේෂඥයෙකු වන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබර්ට් ලූස්ටිග් Journal of American Medical Association (JAMA) වෛද්‍ය පර්යේෂණ සඟරාවට ලිපියක් සම්පාදනය කරමින් පැකට් කල ආහාරවල නරකම ගතිගුණ පිලිබඳ කෙටි සමාලෝචනයක් කර තිබෙනවා. එම පිලියෙන් උපුටාගත් කරුණු තමයි මේ සටහනට පාදක වන්නේ.

ආචාර්ය ලූස්ටිග් සඳහන් කරන ආකාරයට පැකට් කල, කලින් විවිධ ක්‍රමවලට පිසූ ආහාර  / සකස්කල ආහාර නිසා නූතන නගරවාසීන්;

1] අධික කැලරි ප්‍රමාණයක් ඇති ශුද්ධකල කාබොහයිඩ්‍රේට් (තන්තු අඩංගු නැති ) විශාල ලෙස ආහාරයට ගන්නා අතර මේ නිසා රෝගාබාධ විශාල ප්‍රමාණයකට ගොදුරු වනවා.

2] විශාල ලෙස ස්ථුලභාවයට පත්වෙමින් සිටිනවා

3] දියවැඩියාව, අධික රුධිර පීඩයන හා වකුගඩු, අක්මා හා පිත්තාශ රෝගවලට ගොදුරුවෙමින් සිටිනවා.

4] විශාල ලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට සිදුවන තත්වයකට පත්වනවා.

ඉතින් මොනවද ආචාර්ය ලූස්ටිග් හෙලිකරන, පැකට්කල / සකස්කල ආහාරවල ඇති නරක?

ෆයිබර් නැත

ෆයිබර් හෙවත් තන්තු නැති, ඉතා හොඳින් ශුද්ධකරන ලද ආහාර (උදාහරණයක් ලෙස නිවුඩ්ඩ ඉවත්කොට පොලිෂ් කරන ලද සුදු සහල්) ආහාරයට ගැනීම නිසා ඉතා ඉක්මණින් එම ආහාර ජීර්ණයවී ග්ලූකෝස් සියල්ල ඉක්මණින් උරාගන්නවා. ෆයිබර් ඇති ආහාර සෙමෙන් ජීර්ණය වන අතර එම ෆයිබර් නිසා මළ බද්ධය ඇතිවීම, අන්ත්‍ර පිලිකා ඇතිවීම, ගැස්ට්‍රයිටිස් වැලැක්වීම වැනි අමතර වාසිද තිබෙනවා.

ඔමෙගා 3 මේධය ඉතා අඩුයි

ඔමෙගා 3 මේධය හෘදයාබාධ වලක්වන බව සොයාගෙන තිබෙනවා. මූදු මාළු හා ඇටවර්ගවල තිබෙන ඔමෙගා 3 මේධය ගෙන එන තවත් වාසියක් නම් ආතතිය, විශාදිය වැනි මානසික ආබාධ අවම කිරීමයි. ඇස්වල නිරෝගීභාවයටද ඔමෙගා 3 වැදගත් බව සොයාගෙන තියෙනවා. එමෙන්ම ඔමෙගා 3 මේධ අම්ල නිසා ළදරුවන්ගේ මොළයේ වර්ධනය හා ඇස් පෙනීම වර්ධනය හොඳින් සිදුවෙනවා.

ඔමෙගා 6 මේධය ඉතා වැඩියි

ඔමෙගා 6 මේධ අම්ල සාමාන්‍ය ප්‍රමාණයෙන් සමබර පෝෂණයට ඉතා වැදගත් නමුත් වැඩි ඔමෙගා 6 මේධ අම්ලවලින් හෘදයා බාධ අවදානම වැඩි කරනවා.

විටමින් හා ඛණිජ ලවණ වලින් දුප්පත්

පැකට් කල ආහාර නිරෝගී දිවියකට ඉතා වැදගත් විටමින් හා ඛණිජ ලවණ ලබා දෙන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසා වැඩිපුර පැකට් කල ආහාර ගන්නා අයට විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවනවා.

ට්‍රාන්ස් ෆැටස් ඉතා වැඩියි

ට්‍රාන්ස් ෆැට්ස් නැමති අහිතකර, සංතෘප්ත මේධය ඉතා වැඩි සකස්කල ආහාර හෘදයා බාධවලට මගපාදනවා.

ප්‍රෝටීන අධිකයි

ප්‍රෝටීන මස්පිඩු වර්ධනයට ඉතා වැදගත් වුවත් අධික ලෙස ප්‍රෝටීන ආහාරයට ගත්විට එම ප්‍රෝටීන අක්මාව මගින් මේධය බවට හරවා සිරුරේ තැම්පත් කරනවා.

ඉමල්සිෆයර් ඉතා වැඩියි

ඉමල්සිෆයර් කියන්නේ තෙල් හා ජලය වෙන් නොවී එකට තියාගන්න භාවිතා කරන දෙයක්. පැකට් කල ආහාරවල ඇති මේධය හා ජලය වෙන්වුනොත් එය ආහාරය කල්තබා ගැනීමට බාධාවක්. ඒ නිසා ජලය හා මේධය එකතුකරලා තියාගන්න ආහාරයට ගත හැකි ඉමල්සිෆයර් බාවිතා කරනවා. මේ ඉමල්සිෆයර් වල සබන්වලට ඇති මේධය දියකිරීමේ හැකියාව වැනි හැකියාවක් තියෙනවා. එමගින් උදරයේ ඇති ස්ලේෂ්මල පටලයට හානි කරලා බඩේ තුවාල හෙවත් ගැස්ට්‍රික් අල්සර් ඇති කරනවා.

නයිට්‍රේට් වැඩියි

සකස් කල මස්, සොසේජස්, ටින්කල මාළු ආදියේ සෝඩියම් නයිට්‍රේට් ආදී නයිට්‍රේට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ලෙස තිබෙන අතර එමගින් පිලිකා, අධික රුධිර පීඩනය, ඔක්සිජන් ප්‍රවාහණය අඩපණවීම ආදී ගැටලු රැසක් ඇති කරනවා.

ලුණු වැඩියි

සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු ඉතා අධික ලෙස සකස්කල ආහාරවල තිබෙනවා. අධික රුධිර පීඩනයට විශාල ලෙස බල පානවා.

සීනි වැඩියි

ග්ලූකෝස්, සුක්‍රෝස්, ෆෘක්ටෝස් වැනි සීනි වර්ග අධික ලෙස සකස්කල පැණිරස කෑම හා පැණිබීම වල තිබෙනවා. දියවැඩියාවට පාර කපනවා.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments