TRUMPNOMICS : ඔබාමාට බෑ කිව් ඇපල් ට්‍රම්ප්ට හා කියයි


මේ ඡායාරූපය 2011දී ජනාධිපති ඔබාමා සිලිකන් නිම්නයේ කල සංචාරයකදී සහභාගීවුනු භෝජන සංග්‍රයක් දැක්වෙනවා. ඔබාමාගේ දෙපැත්තේ අග සව්වෝ වගේ ඉන්නේ ස්ටීව් ජෝබ්ස් මාමයි, මාර්ක් සකර්බර්ග් බෑනයි. තව ගූගල් එකේ එරික් ෂ්මිට්, ඔරැකල් එකේ ලැරී එලිසන්, නෙට් ෆ්ලික්ස් එකේ රීඩ් හැස්ටිංග්ස්, ට්විටර් එකේ ඩික් කොස්ටෝලෝ වගේ සිලිකන් වැලියේ ලොකුලොක්කෝ ඉන්නවා.

මේ භෝජන සංග්‍රහයේදී තමයි ජනාධිපති ඔබාමා, ස්ටීව් ජෝබ්ස්ගෙන් ලෝක ප්‍රකට ප්‍රශ්ණයක් ඇහුවේ. ඒ ප්‍රශ්නෙ තමයි "ස්ටීව්, අයිෆෝන් ඇමරිකාවේ හදන්න බැරිද?"

ස්ටීව් ජෝබ්ස් දීපු උත්තරේ කෙටියෙන්ම කියනවනම් "බෑ...." 

ඇයි බැරි කියන ප්‍රති ප්‍රශ්නෙට උත්තරේ විධියට ස්ටීව් ජෝබ්ස්, ජනාධිපති ඔබාමාට චීනයේ අධිතාක්ෂණික ඉලෙක්ට්‍රොණික් භාණ්ඩ නිෂ්පාදනයට ඇති පහසුකමුත්, ඇමරිකාවේ ඒ දේ කරන්න ඇති අපහසුවත් විස්තර කලා. 

චීනයේ ශ්‍රමය මිල අඩුයි වගේම ඇමරිකානු සේවකයින්ට වඩා තාක්ෂණික හැකියාවෙන් වැඩි බව ජෝබ්ස් විස්තර කලා. උදාහරණයක් විධියට, ඇපල් අයිෆෝන් එක හදන ෆැක්ටරිවල නිෂ්පාදන කටයුතු අධීක්ෂණය කරන්න, ගැටලු විසඳන්න ඉලෙක්ට්‍රොණික ඉන්ජිනේරුවන් 8000ක් විතර ඕනෑ. ඇමරිකාවෙන් මේ ඉන්ජිනේරුවො 8000 හොයාගෙන, ගිවිසුම් ගහල නිෂ්පාදන පටන් ගන්න මාස 9-12 විතර යනවා කියලා ජෝබ්ස් කිව්වා. ඒත් චීනෙ අයිෆෝන් හදනකොට සියලු සුදුසුකම් සපුරපු ඉන්ජිනේරුවෝ 8000ම හොයාගන්න යන්නේ සති දෙකකටත් අඩු කාලයක් කියලා ස්ටීව් ජෝබ්ස් කියනකොට ඔබාමා පුදුම වුනාලු.

ට්‍රම්ප් බලයට ආවේ, චීනෙට ගිය ඇමරිකන් රස්සා, නිෂ්පාදන කටයුතු ආයෙ ඇමරිකාවට ගේනවා කියන චන්ද පොරොන්දුවක් දීලා. ඒවගේම චීනෙ හදලා ඇමරිකාවෙ බඩු විකුණන ඇමරිකන් කොම්පැණි වලට දඬුවම් කරනවා කියලත් ට්‍රම්ප් කිව්වා. ට්‍රම්ප් එහෙම කිව්වම, ඒ කාලෙ ඇමරිකන් බිස්නස් ලොක්කෝ හිනාවුනා. 

ඒත් දැන් තත්වේ වෙනස් වෙලා. හිනා වෙවී හිටියොත් අඬන්න වෙයි කියලද කොහෙද ඔබාමට බෑ කිව්ව ඇපල් ඔන්න දැන් එයාලගෙ නිෂ්පාදන ක්‍රියාවලියෙන් කොටසක් ඇමරිකාවේ කරන්න තීරණය කරලා. මේ සඳහා ඩොලර් බිලියනයක ආයෝජනයක් කරන්නත් ඇපල් තීරණය කරලා. 

ඇපල් විතරක් නෙමෙයි,  ෆෝඩ් සමාගම එයාල මෙක්සිකෝවෙ හදන්න හිටපු ලොකු ෆැක්ටරියක් ඇමරිකාවෙ හදනවා කියලා කිව්වෙ ට්‍රම්ප් දිවුරුම් දෙන්නත් ඉස්සෙල්ලා.

ඇමසන් කොම්පැණියත් පූර්ණකාලීන රැකියා 100,000ක් ඇමරිකාවෙ බිහිකරන්න සූදානම් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉන්දියාවෙන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ලා ඇමරිකාවට පටවලා අඩුපඩියට ඇමෙරිකාවෙ සොෆ්ට්වෙයාර් හදවපු ඉන්දියාවෙ ඉන්ෆොසිස් සමාගම ඔන්න දැන් අමරිකන් ඉන්ජිනියර්ලා 10,000ක් වැඩට ගන්න ලෑස්ති වෙනවාලු. ඒකත් ඉන්දියන් සොෆ්ට්වෙයාර් කාරයන්ට ඇමරිකාවට ඇවිල්ලා අඩු පඩියට වැඩකරලා ඇමරිකන් ජොබ් වලට කෙලිනවට විරුද්දව ට්‍රම්ප් ගත්ත තීරණයක ප්‍රතිපලයක්. 

ට්‍රම්ප් කිව්වා ඇමරිකාවෙ ඇවිල්ලා වැඩ කරනවා නම්, එයාලට ඇමරිකාවේ ගෙවන පඩියම ගෙවන්න, අඩුවෙන් ගෙවන්න බෑ කියලා. 

ඔන්න නායකයෝ....




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments