TRUMPNOMICS : ඉන්දියාවෙ සේවකයෝ ගෙදර යවලා ඇමරිකාවෙන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ලා ගන්න ඉන්දියන් සොෆ්ට්වෙයාර් කොම්පැණි පටන් ගනී.


1994දී කුමාර් මහදේව නැමති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉන්දියානුවා ඇමරිකාවේ නිව් ජර්සි නුවර ආරම්භකල කොග්නිසන්ට්, ඉන්දියාවේ වේගයෙන්ම දියුණුවන මෘදුකාංග සමාගමක්. ලියාපදිංචිය ඇමරිකාවේ වුවද, ප්‍රධාන කාර්යාලය හා මෘදුකාංග නිර්මාණය ඉන්දියාවේ චෙන්නායි නුවර සිදුකරන කොග්නිසන්ට් ඇමරිකන් H1B වීසා වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.  අඩු වේතනයට (ඇමරිකන් වේතන සාපේක්ෂව) ඉන්දියාවෙන් සේවයට බඳවාගන්නා මෘදුකාංග ඉන්ජිනේරුවන්, H1B වීසා ක්‍රමය යටතේ මාස 3 මාස 6 කාල පරාසවලට ඇමරිකාවට යවා ඉන්දියාවේ පඩියට ඇමරිකාවේ නැවති මෘදුකාංග නිර්මාණය කරමින් කෝටි ගණන් උපයාගත් ඉන්දියානු සමාගම් වලින් එකක් කොග්නිසන්ට්.

කොහොම වුනත් මේ අඩු පඩියට ඉන්දියාවෙන් ඇමරිකාවට යවන මෘදුකාංග ඉන්ජිනේරුවන් (ලංකාවේ සොෆ්ට්වෙයාර් මල්ලිලා හිතාගෙන ඉන්නවා තරම්) වැඩ බැරි බයියලානම් නෙමෙයි. මොවුන් ඉතා දක්ෂ, ඇමරිකන් මෘදුකාංග ඉන්ජිනේරුවන් හා කරට කර වැඩකල හැකි අය. එහෙම අයට තමයි H1B යටතේ ඇමරිකාවට පයගහන්න මේ සමාගම් ඉඩ දෙන්නේ.

ට්‍රම්ප්ගේ ආගමනයත් සමග මේ H1 වීසා ක්‍රමයට කණකොකා හඬලා තියෙන නිසා දැන් H1 ක්‍රමයට ඇමරිකාවට කට්ටිය යවන එක ඉන්දියන් සමාගම් වලට අමාරුවෙලා. ඒවගේම ඇමරිකාව තුලත් ඇමරිකන් භාණ්ඩ හා සේවා මිළදීගන්න, රැකියාවන් වලට ඇමරිකානුවන් ගන්න කියලා පීඩනයක් තියෙනවා. මේ නිසා අවුරුදු 15-20ක් ලස්සනට වැඩකරපු ඉන්දියන් සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රිය සැහෙන්න වියවුල් වෙලා.


අලුත්ම වාර්තාවලට අනුව කොග්නිසන්ට් තමන්ගේ සේවක මඩුල්ලේ ඉන්න ජ්‍යේෂ්ඨ කළමණාකරුවන් 1000කට ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න කියලා. ඒවගේම මේ වසරේ සේවක අගැයිම් වටයෙන් පස්සේ අඩු ලකුණු ගන්න සේවකයින් අස්කරන්නත් සමාගම තීරණය කරලා. මේ නිසා දැන් කොග්නිසන්ට් සේවකයින් වෘත්තිය සමිතියක් හදාගෙන  චෙන්නායි නුවර කම්කරු කාර්යාලයට පෙත්සමක් භාරදීලා කොග්නිසන්ට් සමාගමේ මේ නීතිවිරෝධී සේවක නෙරපීම් නවත්වන්න කියලා.

ඉන්දියාවෙ ලොකුම අයි.ටී සමාගමක් වන ඉන්ෆෝසිස් සමාගමත් දහස්ගණනක් ඇමරිකානුවන් බඳවාගන්න සැලසුම් කරලයි තියෙන්නේ. එහෙන් ගන්නකොට ඉන්දියාවෙන් ඉන්ෆොසිස් සේවකයෝ අඩුකරයි කියලා ඉන්ෆොසිස් සේවකයොත් බයෙන් ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ.

මේවා මේ විධියට ලියන්නේ සතුටු වෙන්න නම් නෙමෙයි. මම කලිනුත් ලිව්වා වගේ මේ ලොකු සමාගම් වල සේවය කරන ඉන්දියන් මෘදුකාංග ඉන්ජිනේරුවෝ වැඩ බැරි ටාසන්ලා නෙමෙයි. හැබෑ දක්ෂයෝ. හැම ඉන්දියන් සොෆ්ට්වෙයාර් කාරයාම දක්ෂයි කියලා මම කියන්නේ නෑ. 

ඒවගේම ලංකාවෙත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග්‍රි තියෙන, පොඩි සොෆ්ට්වෙයාර් එකක් වත් හරියට හදාගන්න බැරි; මම පෞද්ගලිකවම දන්න; වැඩබැරි අයි.ටී ටාසන්ලා ඉන්නවා. හැබැයි ඉතින් එයාලගෙ කතාවනම්......... :D :D :D








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments