BUSINESS STRATEGY : අපේ අය සම්මුඛ පරීක්ෂණයකදී කරන ලොකුම වැරදි

(C) Sirasa TV


මේ ලිපිය මාධව හබරකඩ සහෘදයාගේ "මාධවගේ බ්ලොග් සටහන්" අඩවියේ තිබුණු ලිපියක්. බොහොම වැදගත් කරුණු තිබුණ නිසා සුළු ඌණපූරණ කිහිපයක් සහිතව මේක මම යලිත් ඉදිරිපත් කරනවා. ඔරිජිනල් ලිපියට මෙතනින් යන්න.

මොනවද ශ්‍රී ලාංකික වන අපි සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙනකොට හා / හෝ ගියාම කරන ප්‍රධානතම වැරදි? අපි එහෙම වැරදි සාකච්ඡා කරමු 


සම්මුඛ පරීක්ෂණයට පියා / මව සමඟ පැමිණීම

මේක නම් කවම කවදාවත් කරන්නෙපා. ඔබට කියන්න කිසිම නිදහසට කරුණක් නෑ මේ සඳහා.

ඔබ සම්මුඛ පරීෂණයකට යන්නෙ මොකටද? ඒ අදාල සමාගමට පෙන්නන්න ඔබට වැඩක් කරන්න පුලුවන් කියල. ඔබේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ. සමාගමක් කියන්නෙ වැඩිහිටියන් එකතු වෙලා වගකීම් බෙදාගෙන වැඩ කරල සමාගම ලාභ ඉපයීම සඳහා රැගෙන යන කණ්ඩායමක් ඉන්න තැනක්.

ඉතින් එතනට ඔබ අම්ම/ තාත්ත එක්ක එන එකෙන් මොනවද කියවෙන්නෙ??? 

ඔබ ප්‍රසිද්ධි‍යේ හැමෝටම කියාපානව, වැඩිහිටියෙක් ලෙස ඔබ කළ යුතු මූලිකම දේවත් ඔබට කරන්න බෑ කියල. තනියම වැඩක් කරගන්න බෑ කියන එක. ඒක ඔබගේ සේවාදායකයා දැක්කම මොකද වෙන්නෙ? "මෙහෙම තනියම තැනකට එන්න බැරි කෙනෙක්ට මම ජොබ් එකක් දුන්නොත් මෙයා කොහොම මේක කරයිද???!!!" කියන හැඟීම තමයි. ඉතින් එතනින්ම ඔබ කැපිලම යනව. 

හැබැයි ලංකාවෙ දෙමව්පියන් හුඟක් තමුන්ගෙ දුවල ගැන සැළකිළිමත් වෙන නිසා පරිස්සමට එනව. ඒක නරකයි කියන්න බෑ, එපා කියන්නත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? ගෑණු ළමයි අම්ම / තාත්ත එක්ක ආවට කමක් නෑ. නමුත් එයාලට ඔබ ඉන්ටර්විව් එකට යන ආයතනය තුළට එන්න එපා කියන්න. පුළුවන් තරම් නොපෙනෙන්න ඉන්න කියන්න. 


සූදානමකිත් තොරව පැමිණීම

මේක ලංකාවෙ රැකියා අපේක්ෂකයින් කරන විශාලම වරදක්. මේ කියන්නෙ, අමතර CV පිටපතක් රැගෙන නොඒම, හරියට ඇඳගෙන නොඒම වගේ දේවල් විතරක් නෙමෙයි. එහෙම ඒවත් තියෙනවා. 

සී.වී එකේ පිටපතක් නෑ විතරක් නෙමෙයි, සීවී එකේ තියෙන දේවල් දන්නෙ නැති අයත් මට පෞද්ගලිකව සම්මුඛ පරීක්ෂණ වලදී හමුවෙලා තියෙනවා. වෙන කාට හරි කියලා හදා ගන්න, වැරදි නිවැරදි කරන්න නැවත කියවා හරි වැරදි නොබැලූ අයදුම් පත් මම අනන්තවත් දැකලා තියෙනවා.

මයික්‍රොසොෆ්ට් වර්ඩ් එකේ හරි වෙන කොහෙ හරි තියෙන සීවී ෆෝමැට් එකකට හිතන්නේ බලන්නේ නැතුව තමුන්ගේ දත්ත ඇතුලු කරලා, දත්ත නැති, නැතිනම් රැකියාවට, නැතිනම් අපේ රටේ ක්‍රමයට ගැලපෙන්නේ නැති සීවී එවනවා.

තවත් ලොකුම ලොකු වැරැද්දක් තමයි ලංකාවෙ ජොබ් ඉන්ටර්විව් එකකට යන අයගෙන 90%ම තමුන් මේ ඉන්ටර්විව් එක යන සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නැති එක. සමාගමට වෙබ් සයිට් එකක් තියෙනව නම් ඒකට ගිහිල්ල නෑ, මොනවද ඒ සමාගමේ කරන්නෙ කියල හරියට දන්නෙ නෑ, ඇප්ලයි කරල ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල දන්නෙ නෑ....... ඒත් කියනව තමුන්ට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියල.

ඔබ ඉන්ටර්විව් එකට එන්නෙ සමාගම ගැන කිසිවක් නොදැන නම් ඒකෙන් පෙන්නන්නේ ඔබ රැකියාව ගැන ඇති උනන්දුව, ආශාව. පඩියක් ගන්න රස්සාවක් කරන්න විතරක් නම් උනන්දුව, ඒ වගේ අයට රස්සා ලැබෙන්නේ අඩුවෙන්. 

මේ වගේ මිනිස්සුන්ට උපාධි පිට උපාධි තිබුණත් රස්සා හම්බුවෙන්නේ නෑ. ඊට පස්සෙ කෑ ගහනවා මේ රටේ සුදුසුකම් වලට රස්සාවල් ලැබෙන්නේ නෑ කියලා. උපාධියක්, ප්‍රොෆෙෂනල් කොලිෆිකේශන් තිබුනු පලියට රස්සා ලැබෙන්නේ නෑ. රස්සාව කරන්න පුලුවන් කියලා සම්මුඛ පරීක්ෂණයේදී පෙන්නලා දෙන්න ඕනෑ.


ජොබ් එක ගන්න සම්මුඛ පරීක්ෂණයේදී කියන හැමදේට කැමතිවෙන එක

මේක ලොකු වැරද්දක්. මේකෙන් තමුන්ට පාඩු වෙනවා වගේම සමාගමටත් ලොකු පාඩුවක් වෙනවා. 

මම උදාහරණයක් කියන්නම්. මම කාලයක් වැඩකලේ අලෙවිකරණ කළමණාකරුවෙක් විධියට. බොහෝ වෙලාවට ෆීල්ඩ් එකේ වැඩට ගන්නේ කොල්ලෝ. කෙල්ලොත් ගන්නවා, හැබැයි කටකාර, ඕනෑ තැනක ගිහිල්ලා ජාම බේරගන්න පුලුවන් කෙල්ලෝ විතරයි. 

දවසක් ඉන්ටර්විව් එකකට කෙල්ලෙක් ආවා. ෆීල්ඩ් වර්ක් වලට කැමතියි කිව්වා. අනිත් දේවල් අසතුටු දායක නැති නිසාත්, ගෑණු ළමයි ටිකදෙනෙක් ගන්න කියලා උපදෙස් ලැබිලා තිබුණ නිසාත් මම මේ කෙල්ලව ගත්තා.

ජොබ් එකේ පලවෙනි දවසෙම මේකි ඇවිල්ලා කියනවා ෆීල්ඩ් එකටනම් යන්න බෑ, ගෙදරින් කැමති නෑ කියලා.

හිතා ගන්න පුලුවන් නේද මේ කෙල්ල හොඳයි කියලා HR Directorට රෙකමෙන්ඩ් කරලා, ඇපොයින්ට්මන්ට් ලෙටර් ගහලා චෙයාමන්ගෙ අත්සනත් අරගත්ත මට වෙච්චදේ?.  මම සීනියර් මැනේජ්මන්ට් එකට කලිසමක් ඇඳගෙන ගිහින් කියන්න එපෑ ඉන්ටර්විව් කරලා හොයලා බලලා ෆීල්ඩ් වර්ක් වලට අරගත්ත කෙල්ල දැන් කැමතිනෑ කියනවා කියලා. මට හිතා ගන්න බැරි තරම් කේන්තියක් ආවා. මේ වගේ දේවල් වෙනකොට සීනියර් මැනේජ්මන්ට් එක හිතනවා මම හරියට ඉන්ටර්විව් කරලා නෑ, මම නිවැරදි තේරීම් කරන්න දන්නේ නෑ කියලා.

"ෆීල්ඩ් වර්ක් කරන්න බැරිනම් මොකටද අයිසේ පුලුවන් කිව්වේ? මේක මාකටින් ජොබ් එකක් කියලා දන්නේ නැද්ද තමුසේ??" මම තරහෙන් ඇහුවා. 

මේකි දීපු උත්තරේ මොකක්ද දන්නවද? "නෑ සර් තාත්තා කිව්වා ඉන්ටර්විව් එකේදි හා කියලා ජොබ් එක අරගෙන පස්සේ ෆීල්ඩ් යන්න බෑ කියලා ඔෆිස් වැඩක් ඉල්ල ගන්න කියලා......"

කාට කියන්නද මේවා? 

කවදාක්වත් රස්සාව ගන්න කියලා කරන්න බැරි, සුදුසුකම් නැති, අකමැති දේවල් වලට හා කියන්න එපා. මොකද සම්මුඛ පරීක්ෂණය කරන නිළධාරියා යමක් පුලුවන්ද කියලා අහන්නේ අනිවාර්යයෙන් ඒ වැඩේ කරව ගන්න පුලුවන් කෙනෙක්ව ගන්නයි. බොරු කියලා ඒ මනුස්සයාව අමාරුවේ දාන්න එපා.

ඒ නිසා සම්මුඛ පරීක්ෂණයේදී බොරු කියන්න එපා. කරන්න පුලුවන්, කැමැත්ත තියෙන දේවල් වලට විතරක් හා කියන්න. බැරිවැඩ වලට හා කියලා රස්සාව ලැබුනොත් කරන්න ලෑස්ති වෙන්න.


එකම CV එක හැම අයදුම් කිරීමකටම භාවිතා කිරීම.

හොඳ CV එකක් හදන එකත් එක්තරා හැකියාවක්. මීට පෙර අත්දැකීමක් නැතිනම් ඒක තවත් අමාරුයි. සමහරු එකම ජොබ් එකට ඇප්ලිකේශන් කිහිපයක් එවනව. බොහොමයක් දෙනා එකම CV එක ගමරාලගෙ වංගෙඩිය වගේ හැම එකටම යවනව. මේකට කියන්නෙ "Shot Gun Approach" කියල. Shot Gun එක ඕනෙ එකෙක්ට වෙඩි තියන්න පාවිච්චි කළෑකිනෙ, තිබ්බම පළාතක් ඉවරයි. ඒ කියන්නෙ. එක CV එකක් හදාගන්නව, ඒක හතර වටේටම යවනව. ඒක හරියන වැඩක් නම් නෙමෙයි, ඒක හුඟක් අයට අල්ල ගත්තැකි. ඒකෙන් කියවෙන්නෙ, ඔබ අයදුම් කරන ජොබ් එක ගැන ඔබට උවමනාවක් නෑ කියන එකයි. ආපහු අංක 2ට යන්නකො. මේකත් යන්නෙ එතනටම තමයි. 

හැම ජොබ් එකකට ගැළපෙන දේවල් තියෙනව. ඉතින් ඒවට ගැළපෙන ආකාරයට හැම වෙලේම අලුත් ජොබ් එකකට අලුතින් CV එකක් හදන්න. එහෙම කරන්න කම්මැලි නම් ඔබ රැකියාවකට සුදුසුකෙනෙක් නෙමෙයි. 

Sniper කෙනෙක් වගේ වෙන්න ඕනෙ, හොඳට බලන් ඉඳල, හොඳට සූදානම් වෙලා හරියටම ඉලක්කයටම තියන්න ඕනෙ. අදාල ආයතනය ගැන, ඔවුන්ගේ විෂය පරාසය ගැන, ඔවුන් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් මුලින්ම ගන්න ඕනෙ. පුළුවන් නම් ඉස්සෙල්ල දවසක ආයතනයට කෝල් එකක් දීල විස්තර ටිකක් හොයාගන්න. ජොබ් එක ගැන නෙමෙයි, ආයතනය කරන දේවල් ගැන.

උදා: ඔබ යන්නෙ IT Firm එකක Programmer ජොබ් එකකට නම්, ටිකක් හොයල බලන්න මොනවද ඔවුන් භාවිතා කරන මෘදුකාංග, Programming languages, මොන වගේ මෘදුකාංගද හදන්නෙ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔවුන් භාවිතා කරන්නෙ ජාවා කියමු. ඔබට එතකොට පුළුවන් ඔබගේ CV එකේ ඔබට ජාවා ක්‍රමලේඛ දැනුම තියෙනව කියල විශේෂයෙන් දාන්න. 

ඒව දන්නව කියල ඊට පස්සෙ ඔබ පෙන්නුවම සම්මුඛ පරීක්ෂණයේදි, ආයතනය ඔබ ගැන ඉහළින්ම පැහැදෙනව. හැම එකක්ම ඔබට කියල දෙන්න ඕනෙ නෑ, ගොඩක් කල් පුහුණු කරන්න ඕනෙ නෑ, ඉතින් ඒක ආයතනයට පහසුවක් වගේම මුදල් ඉතිරියක්. 
ඉතින් මොකද වෙන්නෙ? ඔබව ඔවුන් තෝරා ගන්නව.


දකින දකින හැම වේකන්සියටම ඇප්ලයි කිරීම

මේ වගේ අයත් හරියට හමුවෙනවා. රැකියාව, සුදුසුකම්, කුසලතා ගැලපෙනවද, මේ කියන දේවල් මට කරන්න පුලුවන්ද වගේ වැදගත් දේවල් ගැන කිසිම සැළකීමක් නැතුව දානවා ඇප්ලිකේෂන්.

වැරදිලා හරි ඉන්ටර්විව් කෝල් කෙරුවොත් ඊට පස්සෙවත් සමාගම ගැන, රස්සාව ගැන කිසිම දෙයක් හොයන්නේ නෑ. ඉන්ටර්විව් යනවා, ෆේල් වෙනවා, බැන බැන එනවා.

හැබැයි මේ වගේ අයගේ ඇප්ලිකේෂන් අඳුනගන්න ලේසියි. ගොඩක් වෙලාවට කවරිං ලෙටර් එකක් නෑ. තිබුණත් ඒක ෆොටෝකොපි එකක්. වෙන තැනකට යවපු ලියමක ඇඩ්‍රස් එක ටිපෙක්ස් කරලා ෆෝටෝ කොපි කරලා ඇඩ්‍රස් එක අතින් ලියලා. පුදුම වෙන්න එපා, මේවා මම ඇස් දෙකෙන් දැකලා තියෙන දේවල්. CV එකත් ෆෝටෝකොපි. හොඳ කොපියකුත් නෙමේ, වටෙන් මැද්දෙන් කළු ගැහිච්ච ජරා ෆොටෝ කොපි.

වෙලාවට නොපැමිණීම හා එන්නට නොහැකි නම් නොපැවසීම

කතාවක් තියෙනවනෙ, "ඔබ මිනිත්තු 10ක් ඉක්මනින් ආවෙ නැතිනම් ඔබ මිනිත්තු 5ක් ප්‍රමාදයි" කියල.

අයදුම්කරුවන්ගෙන් 30%ක්වත් මේ පරීක්ෂණය නම් අසමත් වෙනවාලු. ලංකාවෙ මිනිස්සු නම් වෙලාවට වැඩ කරන්නෙම නෑනෙ කවදාවත්. නමුත් සම්මුඛ පරීක්ෂණයකට යන දවසෙවත් වෙලාවට එතනට යන්න. 

අනිත් එක, අදාල වෙන් කරගත් දිනයට වෙලාවට එන්න බැරි වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒක අදාල ආයතනයට දන්වන්න, වෙනත් වෙලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන් වේවි. අපේ අය ඉතින් බයට කතා කරන්නෙ නෑනෙ. හේතු දක්වන්න ඕනෙ නෑ. ඒ දව්සට වෙලාවට එන්න වෙන්නෙ නෑ, වෙනත් වෙලාවක් ලබාදෙන්න කියන්න.  

ලංකාවෙ බොහොමයක් රැකියා අයදුම්කරුවන් වෙලාවට අදාල ස්ථානයට ගිහිල්ල ඉන්නෙ නෑ. උදේ 10ට එන්න කිව්වොත් එන්නෙ 10.15 නැත්තම් 10.30ට. ඒකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ. 9.45ටවත් යන්න. ගිහිල්ල පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලෑස්ති වෙලා ඉන්න. 

පලමු ඉන්ටර්විව් එකේදීම පඩි කීයදැයි ඇසීම

ඇත්ත. අපි රැකියාවකට යන්නෙ මුදල් හොයන්නනෙ. ඒත් මොකද හදිස්සිය? අලුතින්ම ජොබ් එකකට යන්න හොයන අය මේක නොදැන සිටින්න පුළුවන්, නමුත් ඉන්ටර්විව් එකකට දෙකකට ගිය අය දන්නව, අහන්න පුළුවන් නරකම ප්‍රශ්නය තමා පඩි කොහොමද කියන එක කියල. සාමාන්‍ය ක්‍රමය නම් දෙවන හෝ තෙවන (ඔබව අවසන් කිහිපදෙනා අතරට තෝරාගන්නා පරීක්ෂණය) සම්මුඛ පරීක්ෂණයේදී තමයි වැටුප් ගැන ඇසිය යුත්තේ. 

මුල් පරීක්ෂණ වලදී ඔබගේ මූලිකම ඉලක්කය වෙන්න ඕනෙ ඔබගේ හැකියාවන් පෙන්වීම හරහා ඔබව මාකට් කරන එක. 

හ්ම්ම්. ඔබ අනිවාර්යයෙන්ම එතකොට මෙහෙම හිතයි. "මෙයාල දෙන්නෙ අඩු පඩියක් නම්??? මම මගෙ කාලය අපතේ හරිනව නේද" කියල. ඔව්, එතන පොඩි අනතුරුදායක තත්වයක් තිබෙනව. අමුත් ඒක ගත යුතු රිස්ක් එකක්. ඔබ ඒ කාලය අපතේ හරිනවා නම් අදාල ආයතනය කොතරම් කාලයක් අපතේ යවනවද වැඩක් නැති අයදුම්කරුවන් පරික්ෂා කර කර???

ඉතින් ඔයා වැටුප් ගැන අහන්න අහන්න, එයාලට ඔයාව එපා වෙනව. මොකද ජොබ් එකක් කරන්න එන්නෙ සල්ලි හොයන්න උනත් කවුරුවත් කැමති නෑ සල්ලි පස්සෙම දුවන මනුස්සයෙක්ව ජොබ් එකකට ගන්න.


පඩියට නැතිනම් වෙන කොන්දේසි වලට අකමැති වුනත් වෙන එකක් හොයා ගන්නකන් රස්සාවට කැමතිවීම.

මේ වැඩේ කරන්න පුලුවන්, හැබැයි ජීවිතේ එකපාරයි, නැතිනම් දෙපාරයි. නිතරම මේ වැඩේ කරලා බ්ලැක්ලිස්ට් (කළු ලැයිස්තුවට ) ඇතුලුවෙන්න එපා.

මෙහෙම රස්සාවල් ගන්න අය එන්නේ ඕනෑවට එපාවට. උනන්දුවක් නෑ. නිතරම හැම දෙයක් ගැනම කනුකුනු ගානවා. සමාගමේ වෙනත් සේවකයන් හරියට අඳුනාගන්න ඉස්සෙල්ලම විවේචන කරන්න පටන් ගන්නවා. මේවා ඉහලට රපෝතුවෙනවා වෙනවාමයි.

ලංකාවේ විතරයි කියලා හිතන්න එපා. ආයතනය ඇතුලේ ඉඳගෙන, ඉතාම විශ්වාසවන්තයන් අතලොස්සක් සමග (එහෙම අය අඳුනගන්න කාලයක් යනවා) හැරෙන්නට තැන තැන කියවන ඒවා උඩටම යනවා. එහෙම අය මැනේජ්මන්ට් එකට නෝට් වෙනවා. ටික ටික කැපෙනවා.

ඒ විතරක් නෙමෙයි, තමන් යන්න හිතාගෙන ඉන්නෙ, ඒ ඉන්ඩස්ට්‍රි එකේම තියෙන වෙනත් සමාගමක් නම් එයාලටත් ආරංචි වෙන්න පුලුවන්. මතක තියාගන්න මාකට් එකේ විරුද්ධ වාදීන් වුනාට මේ හැම සමාගමකම ලොකු ලොකු අය එකිනෙකා හඳුනන යාලුවෝ. සමහර විට එකම සමාගමක එකට වැඩ කරපු අය.

ඒ නිසා අර වැඩි පඩි ගෙවන සමාගමේ ඉන්ටර්විව් ගියෝත්, ඒ සමාගමේ ලොකු අය, ඔයා දැන් වැඩකරන සමාගමේ යාලුවන්ට කෝල් කරලා අහනවා.

"මචන් මේ අහවලා ඇප්ලිකේෂන් එකක් එවලා තියෙනවා? එයා කොහොමද?" හිතන්න එපා මෙහෙම වෙන්නේ නෑ කියලා. ගොඩක් වෙලාවට වෙනවා. වාත කාරයෙක් කියලා නෝට් වෙලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයා දැන් වැඩකරන සමාගමෙන් ඒ බව ඔබ ඉන්ටර්විව් ගිය කොම්පැණියෙ ලොක්කට කියනවා.


ඉතින් මොකක්ද කරන්න ඕනෑ?

1]   වැඩි පඩි ජොබ් එකක් හම්බුවෙනකන් ඉන්න

2] එහෙම වැඩි එකක් හම්බුවෙනකන් ඉන්න බැරිනම්; ආර්ථික අපහසුතා, වයස වැඩිවීම, කෙල්ලගේ ගෙදරට ජොබ් නැති කොල්ලෙක් කියලා නෝන්ඩි වෙන එකෙන් බේරෙන්න, යාලුවෝ හැමෝටම ජොබ් තිබීම ආදිය මේ සඳහා සාධාරණ හේතු වෙන්නට පුලුවන්.

අඩුපඩි රස්සාව ගන්න. හැබැයි ඒක අරගෙන, වෙන හොඳ එකක් හම්බුවෙන තෙක්, පුලුවන් තරම් හොඳින් ඒ රස්සාව කරන්න. පුලුවන් තරම් පලපුරුද්ද අරගන්න. රස්සාව ගැන, ඉන්ඩස්ට්‍රි එක ගැන පුලුවන් හැම දේම ඉගෙන ගන්න. සති අන්තයේ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් එකකට ඉගෙන ගන්න.

වැඩකාරයෙක් කියලා නමක් හදා ගන්න. හැබැයි බොරුවට දඟලලා ෂෝ කාරයෙක්, මුට්ටි කාරයෙක් කියලා නෙගටිව් ඉමෙජ් එකක් හදාගන්නත් එපා. සෝබන නැති (සද්දෙ නැතුව යුද්දෙ කරන) නියම වැඩකාරයෙක් වෙන්න. එතකොට ඉබේම වැඩි පඩි තියෙන හොඳ කොම්පැණි වලින් ආරාධනා ලැබෙයි.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments