BIOLOGY : හිතනවාට වඩා වේගයෙන් සිදුවන පරිණාමය

මෑතකදී මතුවූ විශාල ආක්‍රමණික ගොළුබෙල්ලන් ආහාරයට ගන්නට විශාල හොටක් හා සිරුරක් ඉක්මණින් පරිනාමය කරගත් ෆ්ලොරිඩා කයිට් උකුස්සා.


අපි දන්න විධියට පරිනාමය සිදුවෙන්නේ බොහොම හෙමින්. ගස් උඩ යන වානරයින්ගේ සිට පරමාණු බෝම්බ හදන මානවයා දක්වා පැමිණි ගමන බොහොම හෙමින්, සංකීර්ණව සිදුවූවක්. ඒත් පරිනාමය අපි හිතන තරම් හෙමින් හෙමින් සිදුවන එකකුත් නෙමෙයි. සමහර අවස්ථාවලදී පරිනාමය, නැතිනම් අලුත් පරිසර තත්වවලට ස්වභාවිකව සිදුවන හැඩගැසීම් වේගයෙන් සිදුවනවා.

ආක්‍රමණික සත්ව හා ශාක විශේෂ ලෝකයේ බොහෝ රටවලට තර්ජනයක්. ස්වභාවික පරිසර පද්ධති හා ආවේණික ජීවීන් යටපත්කරගෙන පැතිරෙන ආක්‍රමණික ශාක හා සතුන් පරිසර පද්ධති අවුල්කොට වටිනා ජෛව පද්ධති විනාශකරනවා. 

ඉතා වේගයෙන් බෝවෙමින් පැතිරෙන විශාල  දකුණු ඇමරිකානු ඇපල් ගොලුබෙල්ලන් මෙවැනි ආක්‍රමණික සත්ව විශේෂයක්. ෆ්ලොරිඩාවේ සුප්‍රකට එවර්ග්ලේඩ්ස් වගුරුබිම් ආක්‍රමණය කල ඇපල් ගොලුබෙල්ලන්, එහි ජීවත්වූ කුඩා ගොලුබෙල්ලන් යටපත්කර ගනිමින් වේගයෙන් පැතිරෙන්නට වුනා. එවර්ග්ලේඩ්ස් වගුරු බිම් ආශ්‍රිතව ජීවත්වූ තවත් වඳවෙමින් සිටි සත්වයෙකු තමයි ෆ්ලොරිඩා ස්නේල් කයිට් නම්වූ ගොලුබෙල්ලන් ආහාරයට ගැනීමට අනුවර්තනය වූ උකුසු වර්ගය.



ස්නේල් කයිට් උකුස්සන්ගේ ප්‍රධාන ආහාරය වූ කුඩා ගොලුබෙල්ලන් යටපත්කර ගනිමින් වේගයෙන් පැතිරෙන ඇපල් ගොලුබෙල්ලන්, මේ උකුසු වර්ගයේ වඳවීම තවත් වේගවත් කරනු ඇතැයි උපකල්පණය කෙරුනා. 2007දී කරන ලද සංගණනයකට අනුව ස්නේල් කයිට් උකුස්සන් 700ක් පමණ එවර්ග්ලේඩ්ස් වල වාසය කලා. වසර 2000දී 3500ක්ව සිටි මොවුන් වසර 7කදී පස්ගුණයකින් අඩුවීම, තවත් වසර කිහිපයකදී ඔවුන්ගේ අවසානය සිදුවනු ඇති බවට අණාවැකි පලකලා.

කෙසේ වෙතත් පර්යේෂණ සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කරන ෆ්ලොරිඩා පක්ෂී විද්‍යාඥයින් පිරිසක්, 2017 වසර වන විට ෆ්ලොරිඩා ස්නේල් කයිට් උකුස්සන්ගේ ජනගහණය වැඩිවී ඇති බව වාර්තාකලා. මෙසේ වැඩිවූ කයිට් උකුසු ජනගහණයේ උකුස්සන් විශාල ඇපල් ගොළුබෙල්ලන් ආහාරයට ගැනීම සඳහා වඩාත් විශාල හොටයන් හා ශරීර ප්‍රමාණය විශාල කරගෙන අනුවර්තනය වී සිටියා. 2007දී පක්ෂීන් 700කට සීමාව සිටි ස්නේල් කයිට් ජනගහනය දැන් පක්ෂීන් 2000ක් දක්වා වැඩිවී තිබෙනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments